වර්ෂ 1896 අගෝස්තු 24 වැනි දින බළන්ගොඩ කිරිඳිගල නම් ග්‍රාමයේ උත්පත්තිය ලැබූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ මෑත ඉතිහාසය තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ ය. කුඩා කාලයේ තමන්ගේ ආචාර්යන් වහන්සේගෙන් විහාරස්ථානයේදී ම අධ්‍යාපනය ලබා වයස අවුරුදු 24ක් වනවිට පාලි සංස්කෘත සහිත ත්‍රිපිටක ඉගෙනීම අවසන් කළහ. මෙහිදී උන්වහන්සේ අටුවා ටීකා සහිතව ත්‍රිපිටකය පිළිබඳව ඉහළම දැනුමක් වර්ධනය කර ගත්හ. මෙම වසර නවයක අධ්‍යාපනය වර්තමානයේ භික්‍ෂුවකට වසර 20කින් වත් ලබාගැනීම ලෙහෙසි පහසු නොවන කටයුත්තක් බව නායක හාමුදුරුවෝ ම පවසා ඇත.
පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය සම්පූර්ණ කළ අපේ නායක හාමුදුරුවෝ එම විද්‍යාලයේම ආචාර්යවරයෙක් වශයෙන් වසර 11කට අධික කාලයක් කටයුතු කළහ. එම කාලය තුළදී දිනකට හතර වතාවක් භාවනාවේ යෙදුණු බව අප සමග පවසා ඇත. ඇතැම් අවස්ථාවල පාසල් ළමුන් තුවාල සිදුකරගත් අවස්ථාවන්හිදී උන්වහන්සේගේ භාවනා බලයෙන් එම තුවාල සනීප කළ බව ද අප අසා ඇත. එසේම ඇන්. ඇම්. පෙරේරා, ඊරියගොල්ල මැතිතුමා, ඊ. ඩබ්ලිව්. අධිකාරම් මහත්මා වැනි රටේ ගෞරවාදරයට පත්වූ සම්භාවනීය පුද්ගලයින්ට නාහිමිපාණන් වහන්සේ අධ්‍යාපනය ලබා දී ඇත. එසමයෙහි ආනන්ද විද්‍යාලය පමණක් ප්‍රමාණවත් නොවන හෙයින් නාලන්ද යනුවෙන් ද බෞද්ධ පාසලක් කොළඹ ප්‍රදේශයට අවශ්‍ය බව පවසා එහි තේමා පාඨය පවා සකස් කොට දී ඇත්තේ අප නාහිමිපාණන් වහන්සේම ය. පසුකාලයේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සමයාන්තර ඤාණ පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ නායක හාමුදුරුවෝ 1966 ඔක්තෝම්බර් 01 වන දින විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත් වූහ.
මීට අමතරව අප නාහිමිපාණන් වහන්සේ බුරුමයේ (වත්මන් මියන්මාරයේ) හයවන ධර්ම සංගායනාවේ මූලාසනය හොබවමින් විශ්ව කීර්තියට පත්වූහ. විශේෂයෙන් සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ප්‍රාකෘත, හින්දි, ලතින්, ඉංග්‍රීසි ආදී වූ විවිධ භාෂාවන් පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේට තිබුණි. එසේම සමස්ත ලංකා එක්සත් අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට පත් වූ උන්වහන්සේට ශ්‍රී ලංකාව තුළ භික්‍ෂූන් වහන්සේ කෙනෙකුට ලැබිය හැකි සියලුම ගෞරව සම්මානයන් හිමිවූවා යැයි පැවසුවහොත් කිසිවෙකුට විරුද්ධ විය නොහැක.
මීට අමතරව බරණැස ඉසිපතනාරාමයේ ප්‍රධාන ස්වාමින් වහන්සේ වශයෙන් බොහෝ කාලයක් ශාසන බ්‍රහ්මචරියාවේ යෙදුණු අපේ නායක හාමුදුරුවෝ එංගලන්තය, ප්‍රංශය, ස්වීඩනය, ඇමරිකාව, කැනඩාව, මැලේසියාව, ජපානය, තායිවානය, තායිලන්තය සහ විවිධ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් තථාගතයන් වහන්සේගේ නිර්මල බුදුදහම ලෝකය පුරා පතුරුවාලීමට සමත් වූහ.
එසේම උන්වහන්සේගේ පළමුවැනි ශිෂ්‍යයා වශයෙන් වැලිගෙපොළ මෛත්‍රීමූර්ති හිමියන් විසින් අරඹන ලද ශිෂ්‍ය ප්‍රජාව සිය ගණනක් වන්නට ඇත. ඒ අතර දේශීය විදේශීය වශයෙන් කීර්ති නාමයන් හිමිකරගත් හිමිවරු විශාල ප්‍රමාණයක් ඇත. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් ලොව පුරා ඉංග්‍රීසි බසින් මහත් ධර්ම ප්‍රචාරයක යෙදෙන භික්ඛු බෝධි ස්වාමින් වහන්සේ ද නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හිමිනමකි.
එසේම අනගාරික ධර්මපාලතුමා, ක්‍රිෂ්ණ මූර්තිතුමා වැනි ලෝක ප්‍රසිද්ධ බුද්ධිමතුන් සමග කටයුතු කොට ඇති උන්වහන්සේ ශතවර්ෂයකට අධික කාලයක් මෙලොව වාසය කරමින් සිදුකළ ශාසනික, අධ්‍යාපනික, ආධ්‍යාත්මික, සාමාජීක සේවය ඉදිරිපත් කරන්නට අප වැන්නන්ට හැකියාවක් නොමැත.
එමෙන්ම යෝගාවචර හිමිනමක් වශයෙන් කුඩා කාලයේ පටන් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදුණු උන්වහන්සේ විවිධ අදෘශ්‍යමාන බලවේගයන් සමග ද සම්බන්ධතා පවත්වා ඇත. එසේම ස්වකීය පෙර ආත්ම භාවයන් අනුස්මරණය කොටගෙන ඇති උන්වහන්සේ විදර්ශනා භාවනාවෙන් සංඛාර උපෙක්‍ඛා ඤාණය දක්වා තමන්ගේ සිත දියුණු කොටගෙන ඇති අතර මාර්ග ඵලයකට පත් නොවී ඇත්තේ උන්වහන්සේ තුළ පවතින උත්තරීතර අපේක්‍ෂාවක් නිසාවෙනි. එසේ නොවේ නම් මේ ජීවිතය තුළදී ම කෙළෙස් ප්‍රහීණ කිරීමට තරම් පූර්ව වාසනා ගුණයක් උන්වහන්සේ සතු බව මොනවට පැහැදිලි වේ.
තවද උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ පිළිබඳව විමසා බැලීමේදී අප අසා ඇති පරිදි සියයකට අධික පොත් ප්‍රමාණයක් ඇත. ඒ අතර සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් රචනා කරන ලද ග්‍රන්ථ රාශියකි. සිසුබෝධ බුද්ධ ධර්මය නමින් පාසල් ළමුන් සඳහා ග්‍රන්ථ මාලාවක් රචනා කොට ඇති උන්වහන්සේ ශාක්‍යසිංහාවදාන සිද්ධාර්ථ ගෞතම බුද්ධචරිතය නමින් රචනා කළ බුද්ධ චරිත කෘතිය ලංකාව තුළ රචනා වූ පළමුවැනි සාර්ථකම බුදුරජාණන් වහන්සේ පිළිබඳ කෘතිය වශයෙන් නම් කළ හැකිය. ත්‍රිපිටක සංස්කරණයේ යෙදුණු උන්වහන්සේගේ ශ්‍රී නාමය සෑම ත්‍රිපිටක ග්‍රන්ථයකම ආරම්භයේම සටහන් වී ඇත. ත්‍රිපිටක ග්‍රන්ථ ගණනාවකටම විශේෂ ආඛ්‍යාන රචනා කොට ඇති උන්වහන්සේ පාලි භාෂාව ඉගෙන ගැනීමට කෘතීන් ද සංස්කෘත භාෂාව ඉගෙන ගැනීම සඳහා රචනා කළ සරල සංස්කෘත ශික්‍ෂකය නම් ග්‍රන්ථ ත්‍රිත්වය වර්තමානයෙහි ද අධ්‍යයන කටයුතු කරන හිමිවරුන්ගේ ප්‍රධාන අභ්‍යාස කෘතීන් වශයෙන් කීර්තිනාමයක් හිමිකරගෙන ඇත. එසේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හිමිපාණන් වහන්සේ විසින් රචිත කෘති ඇතැම් විශ්වවිද්‍යාලවල ප්‍රධාන අභ්‍යාස කෘති වශයෙන් ද අනුමත වී ඇත. එසේම දේශීය ආයුර්වේදය පිළිබඳව ද ජ්‍යෝතිෂය පිළිබඳව මෙන්ම විවිධාකාර අතිරේක විෂයන් පිළිබඳව ප්‍රාමාණික දැනුමකින් හෙබි උන්වහන්සේගේ ශාස්ත්‍රීය නිපුණතාව අප කෙසේ විග්‍රහ කරන්නේ දැයි සිතාගත නොහැක.
බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳ රචිත ග්‍රන්ථ විස්සකට අධිකය. අප දන්නා තරමින් එක් පුද්ගලයෙක් පිළිබඳ එතරම් ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා වී නැත. ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් විසින් බළන්ගොඩ නායක හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡා කොට රචනා කළ “බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි” නම් කෘතිය උන්වහන්සේ පිළිබඳව රචිත පළමුවැනි කෘතියයි. මේ වනවිට එම චරිත කථාව මුද්‍රණ වාර 25කට වඩා එළිදක්වා ඇත. එසේ වුවත් වර්තමානය වනවිට ද එම කෘතිය එළිදැක්වූ විගස විකිණී අවසන් වන තරමට ජනතාව අතර ප්‍රසාදයට පත්ව ඇත. මේ අනුව උන්වහන්සේගේ කීර්තිනාමය කෙතරම් උස්ව පවතින්නේ දැයි සිතාගත හැකිය.
භික්‍ෂුවක් වශයෙන් සිව්පසය (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස) කෙරෙහි බැඳී කටයුතු නොකළ අප නාහිමිපාණන් වහන්සේ වෙහෙර විහාර, මිල මුදල්, යාන වාහන, තනතුරු නම්බුනාම, ගෞරව ප්‍රසාද පූජා කෙරෙහි උනන්දුවක් නොදැක්වූ හිමිනමක් වශයෙන් ප්‍රකට වී ඇත. තම සතු දේවල් අනුන්ට පරිත්‍යාග කිරීමෙහි විශේෂ කැමැත්තක් දැක්වූ උන්වහන්සේ “දාරුණෝ භික්‍ඛවේ ලාභ සක්කාරා” යනුවෙන් තම කුටියෙහි උළුවස්සේ ප්‍රදර්ශනය කොටගෙන තිබුණ බව අප අසා ඇත. එහි අර්ථය “මහණෙනි, ලාභ සත්කාර දරුණුය.” යන්නයි. මෙසේ නිරතුරුව අල්පේච්ඡතාවයෙන් සහ සන්තුට්ඨිතාවයෙන් කටයුතු කළ අප නායක හිමිපාණන් වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ විවිධ ආචාර්යවරුන් සමීපයෙහි භාවනා කටයුතුවල යෙදී ඇත. ආරම්භයේ පටන් අවසානය තෙක් තම ජීවන ගමන ඉතා සාර්ථකව ගත කළ අප ගුරු දේවෝත්තම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ පිළිබඳව භික්‍ෂුවක් නම් මෙසේ විය යුතු යැයි ලොවටම හඬගා කිව හැකි කීර්ති නාමයක් හිමිකරගත් ශාසනම්බරයේ පුන්සඳ මෙන් බැබළුණ හිමිනමක් බව දක්වන්නේ අතිමහත් බැතියෙනි.
වර්ෂ 2024 අගෝස්තු 24 වැනිදාට 128 වැනි ජන්ම දිනය සමරන අපේ නායක හාමුදුරුවන් වහන්සේට උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවේවා යි ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
අංශාධිපති, ව්‍යවහාරික බෞද්ධ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.

Post a Comment