බ්‍රිතාන්‍යය ඒකපාර්ශ්විකව ගත් තීන්දුව තත්ත්වය තවත් ව්‍යාකූල කිරීමක්

 අපේ සංහිඳියාවට සහායක් නෑ

රණවිරුවන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය කියයි
ඇමැති විජිත හේරත්

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ හිටපු ප්‍රධානීන් ඇතුළු සිව් දෙනකුට එක්සත් රාජධානියට ඇතුළත් වීම, ඔවුන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද සම්බාධක එම රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බවත් එවැනි තීන්දු මගින් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වන බව නිරීක්ෂණය වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙරට සිටි ප්‍රබල හමුදා ප්‍රධානීන් තිදෙනකු වූ ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා වෙත ඊයේ (26දා) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දෙනු ලැබීය. අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙසේය.

‘ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක’ මැයෙන් 2025 මාර්තු 24 වැනිදා එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට එක්සත් රාජධානියේ රජය මෙරට පුද්ගලයන් සිව් දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහු වෙති. ‘වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්’ සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.

අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහායක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ.

Special thanks to:Divaina - Online

Post a Comment

Previous Post Next Post