බැංකොක් නගරයට හදිසි තත්ත්වයක්
විශාල පිරිසක් අතුරුදන්
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) හටගත් රිච්ටර් මාපකයේ 7.7ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මියන්මාරයේ අගනුවර වන ‘නයිප්යිඩෝ’ නගරයේ මාර්ග විනාශ වී ගොස් ඇති අතර භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට සැතපුම් දහස් ගණනක් ඇතින් පිහිටි තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ගොඩනැගිලි රැසක් විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකොක් නගරයේ ඉදි කෙරෙමින් පැවති උසැති ගොඩනැගිල්ලක් අදාළ භූමිකම්පාවේ බලපෑමෙන් කඩා වැටී ඇති අතර ඉන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව ඊයේ සවස වන විටද වාර්තා වී නොතිබිණි.

නගරයේ පිහිටි තවත් මහල් 30කින් සමන්විත වූ ඉදි කෙරෙමින් පැවැති උසැති ගොඩනැගිල්ලක් භූමිකම්පාවේ බලපෑමෙන් පොළවට සමතලා වීම හේතුවෙන් එහි සිටි සේවකයන් 43 දෙනෙකු සුන්බුන්වලට කොටු වී සිටින බව තායිලන්ත පොලිසිය පවසා තිබේ. සමාජ මාධ්‍ය ජාලවල එම ඉදිකෙරෙමින් පැවති උසැති ගොඩනැගිල්ල දුවිලි වලාවක් නිර්මාණය කරමින් පොළවට කඩා වැටෙන අයුරුත් ඒ අවට සිටි පිරිස් කෑ කෝ ගසමින් එම ස්ථානයෙන් පිටතට දිව යන අයුරුත් දැක්වෙන වීඩියෝ පටයක් සංසරණය වී තිබේ. භූමිකම්පාවේ බලපෑම නිරිතදිග චීනයට ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් හටගත් පසුකම්පනයන් බැංකොක් නගරයට දැනීම හේතුවෙන් නගරයේ ගොඩනැගිලි දැඩි ලෙස සෙලවීමට ලක්ව ඇති බව වාර්තා වී තිබේ.
බැංකොක් නගරයේ ගොඩනැගිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර නොතිබීම හේතුවෙන් මියන්මාර් භූමික්මපාවේ බලපෑම ගොඩනැගිලිවලට දැඩි ලෙස දැනී ඇති බව වාර්තා වේ. භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් එහි කේන්ද්‍රස්ථානයට ආසන්නයේ පිහිටා තිබූ ගොඩනැගිලි රැසක් මෙන්ම රාජකීය මාලිගාවක කොටසක් ද විනාශ වී ගොස් තිබේ. කලින් මියන්මාරයේ අගනුවරව පැවැති යැන්ගොන් නගරයේ සිට මැන්ඩලේ නගරය යාකෙරෙන අධිවේගී මාර්ගය භූමිකම්පාව හේතුවෙන් විනාශ වී ගොස් ඇති අතර සයිගයින්ග් කලාපයේ පිහිටා තිබූ වසර 90ක් පැරණි පාලමක් ද කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ. භූමිකම්පාව හටගැනීමත් සමගම බැංකොක් නගරයේ ගොඩනැගිලි සෙලවීම නිසා බියට පත් උසැති නිවාස, කාර්යල හා හෝටල් ගොඩනැගිලිවල වාසය කරන තායි ජාතිකයන් හා විදේශිකයන් දහස් ගණනක් තරප්පු පේලි ඔස්සේ පහළට දිව විත් එම ගොඩනැගිලිවලින් ඉවත්ව දිව යන අයුරු විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. බැංකොක් නගරයේ වාසය කරන මිලියන 17ක ජනගහනයෙන් වැඩිදෙනකු උසැති ගොඩනැගිලිවල පිහිටි නිවාසවල වාසය කරන බව අනාවරණය වී තිබේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මධ්‍යම දිග මියන්මාරයේ හටගෙන ඇති ප්‍රබල භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය සගයින්ග් නගරයට කිලෝ මීටර් 16ක් වයඹ දිගින් පිහිටි ප්‍රදේශයක් වන අතර එහි ගැඹුර කිලෝ මීටර් 10කි. මෙම ප්‍රබල භූමිකම්පාව හටගෙන විනාඩි 12කට පමණ පසු එම ප්‍රදේශයේම රිච්ටර් මාපකයේ 6.4ක් වශයෙන් සටහන් වූ දෙවැනි භූමිකම්පාවක් ද හටගෙන තිබේ. හමුදා ජුන්ටාවක් පාලන බලයේ සිටින මියන්මාරයේ අදාළ භූමිකම්පාව හේතුවෙන් සිදුව ඇති ජීවිත හා දේපළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගැනීම විදෙස් මාධ්‍යවලට අසීරු වී ඇත. රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත්වල පාලනය හමුදා ජුන්ටාව සතුවීමත් අන්තර්ජාල සේවාවන් සීමා කර තිබීමත් යන කරුණු එයට හේතු වී තිබේ.
මේ අතර මියන්මාරයේ හටගත් ප්‍රබල භූමිකම්පාවේ බලපෑම බැංකොක් නගරයට තදින් දැනීම හේතුවෙන් හටගත් තත්ත්වය මත එම නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තායිලන්ත රජය පියවර ගෙන තිබේ. තායිලන්ත අගමැති පෙටෝන්ග්ටාම් ෂිනවත්‍රාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස හදිසි රැස්වීමක් කැඳවා ඇති තායි රජය බැංකොක් නගරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Special Thanks to Divaina Online
Post a Comment