ඇමෙරිකානු නායකත්වය සහ ගෝලීය අභියෝග – ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි

 

America First ප්‍රතිපත්තිය හමුවේ නේටෝව වැනි ආරක්ෂක සන්ධානවල අනාගතය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත. ඔහු යුරෝපීය රටවලින් ආරක්ෂක වියදම් වැඩිකරන ලෙස ඉල්ලා සිටින අතර, එය සන්ධානයේ සහයෝගිතාවයට අභියෝගයක් වී තිබේ. තවද විදේශ ප්‍රතිපත්තිය තුළින්, විශේෂයෙන් චීනය සමග ඇති සබඳතා, දේශගුණ විපර්යාසය සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැනි ගැටලු විසඳීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය වේ. මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා, ජාත්‍යන්තර සහයෝගිතාව සහ බහුපාර්ශ්විකත්වය අත්‍යවශ්‍ය වේ. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය නිසා ඇති වන අස්ථාවරත්වය අවමකිරීම සඳහා, අනෙකුත් රටවල් එක්ව කටයුතු කළ යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති යනු ලෝකයේ බලවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකි. ජනාධිපතිවරයාගේ තීරණ සහ ක්‍රියා කලාපය ලෝකය පුරා දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතිය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරනු ලබන බව පැහැදිලි වේ. එසේම ඇමෙරිකානු ජනාධිපතිවරයා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන නිර්මාතෘ ලෙස සඳහන් කළ හැකිය. මේ අනුව, ජාත්‍යන්තර සබඳතා, වෙළෙඳ ගිවිසුම්, ආරක්ෂක ගිවිසුම් සහ විදේශ ආධාර සම්බන්ධයෙන් ඔහුගේ තීරණය ප්‍රමුඛ වෙයි. මෙම තීරණ ලෝකයේ බොහෝ රටවලට ඍජු බලපෑම් එල්ල කිරීමට සමත් වී ඇත. ඇමෙරිකානු එක්සත් ජනපදය තුළ වරින් වර ජනාධිපති ධුරය හෙබවූ ජනාධිපතිවරුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ඇමෙරිකානු ආර්ථිකයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද සිදු කරන්නා වූ බලපෑම අති ප්‍රබල වෙයි. බදු ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති සහ වෙළෙඳ ප්‍රතිපත්ති ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයට සහ ලෝක වෙළෙඳපොළට බලපෑම් කරයි. ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලෝකය මත විශාල බලපෑමක් කිරීමට හැකියාව තිබුණද, එම බලපෑම අභියෝගවලින් තොර නොවේ. දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය, වසංගත රෝග සහ ආර්ථික අස්ථාවරත්වය වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීමට ජනාධිපතිවරයාට සිදු වේ. මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍ය වේ. ජාතික වශයෙන් දේශපාලන ධ්‍රැවීකරණය, සමාජ අසමානතාවය සහ ජාතික ආරක්ෂාව වැනි අභියෝගයන් සඳහා ඕනෑම ජනාධිපතිවරයකුට මුහුණ දීමට සිදුවන අතර, වරින් වර ධුරය හෙබ වූ ඇමෙරිකානු ජනාධිපතිවරුන් එම විවිධ වූ අභියෝගයන් සඳහා මුහුණ දුන් ආකාරයද විවිධ වෙයි. මෙම අභියෝග ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්ති මෙන්ම ගෝලීය නායකත්වය සඳහා බාධාවක් විය හැකිය. කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලෝකය මත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට බොහෝ අවස්ථා තිබේ. ජනාධිපතිවරයාට ජාත්‍යන්තර සහයෝගය ශක්තිමත් කිරීමෙන් ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකිය. දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් කිරීම, ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාට ජාත්‍යන්තර සහයෝගය ලබාගත හැකිය. එමෙන්ම, ලොව පුරා මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමට සහාය විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සමග සබඳතා ශක්තිමත් කිරීම සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියා කිරීම ජනාධිපතිවරයාගේ කාර්යභාරයකි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බලපෑම ලෝකයට අතිශයින් වැදගත් වේ. ජනාධිපතිවරයාගේ නායකත්වය සහ තීරණ ලෝකයේ අනාගතය හැඩගැස්වීමට උපකාරී වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසට පළමුවරට 2017-2021 දක්වා සේවයේ නියුක්ත වූ අතර, 2021 ජනවාරි 20 වැනි දින පැවැත්වූ ජනාධිපතිවරණය තුළින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තේරීපත් විය. ජෝ බයිඩන්ගේ ධුර කාලයේ නිමවත්ම 2024 නොවැම්බර් 05 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය හරහා (47) වන, වර්තමාන ජනාධිපතිවරයා වශයෙන් දෙවන වරට ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයෙහි ජනාධිපති ධුරය හොබවනු ලබයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ලෝක දේශපාලනයට නව අභියෝගයක් එක් කර තිබේ. ඔහුගේ America First (ඇමෙරිකාව පළමුව) ප්‍රතිපත්තිය

ගෝලීයකරණයට සහ බහුපාර්ශ්විකත්වයට විරුද්ධ වන අතර, එය ජාත්‍යන්තර සබඳතාවල ස්ථාවරත්වයට බලපෑම් ඇති කළ හැකිය. 2025 පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවති හමුව, යුක්රේනයේ යුද්ධය, එක්සත් ජනපද මිලිටරි සහ මූල්‍ය ආධාර සහ ආරක්ෂක හා තාක්‍ෂණය සඳහා වැදගත් වන යුක්රේනයේ දුර්ලභ පස් හා ඛනිජ සම්පත් සඳහා එක්සත් ජනපදයට ප්‍රවේශ වීමට අවසර දෙමින් ගිවිසුමක් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට යම් ඉඩක් ලබා දෙන ලෙස ට්‍රම්ප් යුක්රේනයෙන් ඉල්ලා සිටි විට රැස්වීම උණුසුම් අතට හැරිණි. එසේ කිරීමෙන් රුසියාව තවත් ශක්තිමත් වන අතර යුක්රේනය අනතුරට පත් වන බව පවසමින් සෙලෙන්ස්කි තරයේ ප්‍රකාශ කරමින් එම තර්කය ප්‍රතික්ශේප කළේය. ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් ද පැවසුවේ එක්සත් ජනපදය යුක්රේනයට කොපමණ මුදල් සහ ආයුධ ලබා දී ඇත්ද යන්න ගැන ඔවුන් සතුටු නොවන බවත්, එයින් ඇඟවෙන්නේ යුක්රේනය ප්‍රමාණවත් කෘතඥතාවක් ඔවුන් හට නොදක්වන බවත්ය. සෙලෙන්ස්කි එම ප්‍රකාශ හා එකඟ නොවූ අතරම, කිසිදු ගිවිසුමක් ඇති කර ගැනීමකින් තොරව රැස්වීම අවසන් විය.

රැස්වීම ආරම්භ වීමට පෙර පවා එය උණුසුම් ස්වරූපයක් ගනු ලැබුවේ එක්සත් ජනපද නිලධාරීන් සෙලෙන්ස්කිගෙන් ඔහුගේ යුද කාලීන ඇඳුම වෙනුවට විධිමත් ඇඳුම් අඳින ලෙස ඉල්ලා සිටීම හේතුවෙනි. ඔහු එය ප්‍රතික්ෂේප කළේ තම රටේ සොල්දාදුවන්ට සහයෝගය දැක්වීමට අවශ්‍ය වූ බැවිනි. රැස්වීම ආරම්භ වූ විට තත්ත්වය තවත් අයහපත් අතට හැරුණි. ට්‍රම්ප් දැඩි ලෙස ප්‍රකාශ කළේ යුක්රේනයට තවත් ආධාර අවශ්‍ය බවය. නමුත් සෙලෙන්ස්කි තම රට ආරක්ෂා කිරීම සඳහා පමණක් යෝජනා ඉදිරිපත් කළේ ට්‍රම්ප්ගේ කරුණුවලට උනන්දු බවක් නොදෙමින් ට්‍රම්ප් යුක්රේනයට ප්‍රමාණවත් තරම් කෘතඥ නොවන බවට චෝදනා කළ අතර, සෙලෙන්ස්කි තර්ක කළේ යුක්රේනය සෑමවිටම තම රටෙහි අනාගතයට හානි කරන ගිවිසුම් පිළිගත නොහැකි බවයි.

නායකයන් දෙදෙනාම මාධ්‍ය ඉදිරියේ කතා කිරීමත් සමග තර්කය ප්‍රසිද්ධියට පත් විය. ට්‍රම්ප් සහ වැන්ස් යෝජනා කළේ එක්සත් ජනපදය යුක්රේනයට ආධාර කිරීම නතර කිරීමට හෝ අඩු කිරීමට ඉඩ ඇති බවත්, එමඟින් රාජ්‍ය පාලනය තවත් දුෂ්කර වන බවය. සෙලෙන්ස්කි තම ස්ථාවරය වෙනස් නොකළ අතර, එය සාමය, මූල්‍ය ආධාර හෝ දුර්ලභ පස් ඛනිජ පිළිබඳ ගිවිසුම් නොමැති අසාර්ථක රැස්වීමක් ලෙස අවසන් වුණේ ලොව පුරා ඔවුන් අතර ඇතිවූ වාග් ගැටුම ලැව් ගින්නක් මෙන් පැතිර යෑමෙනි.

රැස්වීමෙන් පසු ලොව පුරා විවිධ ප්‍රතිචාර ඇති විය. එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් ඇතුළු යුරෝපීය නායකයන් එක්සත් ජනපදය සහ යුක්රේනය අතර ඇති මතභේදාත්මක තත්ත්වය ගැන කනස්සල්ලට පත්ව සිටි අතර යුක්රේනයට උදව් කිරීමට වෙනත් ක්‍රම සෙවීමට පටන් ගත්හ. නේටෝ මහලේකම් මාර්ක් රූට් රැස්වීමේ ප්‍රතිඵලය ඉතා අවාසනාවන්ත වූවක් ලෙස හැඳින්වූ අතර එක්සත් ජනපදය සමග හොඳ සබඳතා පවත්වා ගන්නා ලෙස සෙලෙන්ස්කිට උපදෙස් දුන්නේය. යුක්රේනයේ දී, බොහෝ දෙනෙක් සෙලෙන්ස්කිගේ ප්‍රතිපත්ති හා ඔහුගේ ඍජු තීරණවලට සහාය දුන් අතර, ඔහු ශක්තිමත් නායකයකු ලෙස පිලිගත්හ. කෙසේ වෙතත්, අසාර්ථක රැස්වීම නිසා එක්සත් ජනපදය හා යුක්රේනය අතර අනාගත සහයෝගය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වූ අතර, යුද තත්ත්වය වඩාත් සංකීර්ණ අතට පරිවර්තනය වීමට ඉඩ සැකසිනි.

America First ප්‍රතිපත්තිය හමුවේ නේටෝව වැනි ආරක්ෂක සන්ධානවල අනාගතය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත. ඔහු යුරෝපීය රටවලින් ආරක්ෂක වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටින අතර, එය සන්ධානයේ සහයෝගිතාවයට අභියෝගයක් වී තිබේ. තවද විදේශ ප්‍රතිපත්තිය තුළින්, විශේෂයෙන් චීනය සමග ඇති සබඳතා, දේශගුණ විපර්යාසය සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැනි ගැටලු විසඳීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය වේ. මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා, ජාත්‍යන්තර සහයෝගිතාව සහ බහුපාර්ශ්විකත්වය අත්‍යවශ්‍ය වේ. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය නිසා ඇති වන අස්ථාවරත්වය අවම කිරීම සඳහා, අනෙකුත් රටවල් එක්ව කටයුතු කළ යුතුය.

ඩොනල් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාව

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති කාලය 2017-2021 තුළ ගත් තීරණ සහ ප්‍රතිපත්ති ගෝලීය මට්ටමින් විවිධ ප්‍රතිචාර ඇති කළ අතර, ශ්‍රී ලංකාවටද එහි බලපෑම් ඇතිවිය. එම හේතුව මත, ඔහුගේ දෙවන පදවි කාලය තුළ ශ්‍රී ලංකාවට බලපාන අභියෝග සහ අවස්ථා පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. වර්තමාන ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව සත්‍යකි. ට්‍රම්ප්ගේ “ඇමෙරිකාව ප්‍රථම” ප්‍රතිපත්තිය ගෝලීයකරණයෙන් පසුබැසීම, ද්විපාර්ශ්වික ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කිරීම සහ ජාත්‍යන්තර සංවිධානවලට සහභාගිත්වය අඩු කිරීම මගින් සංරක්ෂිත විය. ට්‍රම්ප්ගේ පළමු පදවි කාලයේදී, ඔහුගේ මෙම ප්‍රතිපත්තිය යටතේ ගෝලීය වෙළෙඳ ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සහ ආරක්ෂණවාදී පියවර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ඇඟලුම් සහ තේ ආදී නිෂ්පාදන අපනයනය කරන රටක් ලෙස, මෙම ප්‍රතිපත්තිවලින් බලපෑම් විඳිණි. දෙවන පදවි කාලයේදීද, ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා – ඇමෙරිකානු වෙළෙඳ සබඳතා කෙරෙහි බලපානු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එබැවින්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ අපනයන විවිධකරණය කිරීම සහ නව වෙළෙඳ අවස්ථා සොයා ගැනීමයි.

ට්‍රම්ප්ගේ පරිපාලනය ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” උපාය මාර්ගයක් දියත් කළ අතර, මෙම උපාය මාර්ගයට ශ්‍රී ලංකාව ද ඇතුළත් විය. එය කලාපීය ආරක්ෂාව සහ සහයෝගිතාව උදෙසා මූලික වශයෙන් වැදගත් වන්නා සේම, මෙම උපාය මාර්ගය ශ්‍රී ලංකාවට චීනය සමග ඇති සබඳතා සමතුලිත කිරීමට අභියෝගයක් විය. ට්‍රම්ප් පළමු පදවි කාලයේදී චීනය සමග වෙළෙඳ යුද්ධයක් ආරම්භ කළ අතර, ඉන්දු-පැසිෆික් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේය. ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින්, මෙම ප්‍රදේශයේ බලවේග අතර සම්බන්ධතා පවත්වාගෙන යෑමට සිදුවිය. දෙවන පදවි කාලයේදීද, ට්‍රම්ප් පරිපාලනයේ චීන බලවේගය සීමා කිරීමට උත්සාහ කිරීමේ හැකියාවක් ඇති බැවින්, ශ්‍රී ලංකාවට සිය විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සූක්ෂමව ක්‍රියා කළ යුතුය. කෙසේ වෙතත් මීට අමතරවද, ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළේය. ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය ගෝලීය වෙළෙඳාමට අහිතකර ලෙස බලපෑ අතර, එය ශ්‍රී ලංකාවේ අපනයන සහ ආර්ථික වර්ධනයට අහිතකර විය.

ට්‍රම්ප් පළමු පදවි කාලයේදී, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාද ප්‍රවර්ධනය පිළිබඳව අඩු අවධානයක් යොමු කළ බව විචාරකයන් පෙන්වා දුන්නේය. ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති තුළ වර්ගවාදය සහ අන්තවාදී ලක්ෂණය දක්නට ලැබීම සහ මාධ්‍ය නිදහස සීමා වීම ආදී දේ මෙහිදී ජාත්‍යන්තර අවධානයට ලක් විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්වූ රටක් වන බැවින්, ට්‍රම්ප්ගේ දෙවන පදවි කාලයේදීද මෙම කරුණු සම්බන්ධයෙන් අලුත් අභියෝග මතුවිය හැකිය.

ඩොනල් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට ධනාත්මක සහ සෘණාත්මක ලක්ෂණ සහිත මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන්නේය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ශ්‍රී ලංකාව සමග සෘජු ගැටුම්කාරී තත්ත්වයක් නොතිබුණි. නමුත්, අනාගතයේදී ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වුවහොත්, එය ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද යන්න විමසා බැලිය යුතුය.

Post a Comment

Previous Post Next Post