දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න - අභියාචනාධිකරණය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය.
ඒ තමන් අත්අඩංගුවට නොගන්නැයි ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම විභාග කිරීම නිෂ්ප්රභ කළ අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය ගාස්තුවකට යටත්ව නිෂ්ප්රභ කරන බව ප්රකාශ කොට ඇත.
එමෙන්ම මාතර අධිකරණයෙන් දුන් නියෝගය අනුව අධිකරණය පැහැර හරිමින් සැඟවී සිටින දේශබන්දු තෙන්නකොන්ට, මෙතෙක් සැඟවී සිටීමට උදව් කළ සියලු දෙනා සම්බන්ධයෙන්ද නීතිය ක්රියාත්මක කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ වැලිගම පිහිටි W15 නම් හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙනි.
මෙම වෙඩි තැබීම සිදු වූයේ 2023 දෙසැම්බර් 31 වන දාය.
ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කොට මේ වන විට සති තුනකට ආසන්න කාලයක් ගත වී ඇත.
දේශබන්දු තෙන්නකෝන් සෙවීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති අතර ආගිය අතක් නැතිව සිටි ඇගේ බිරිඳගෙන් හා පුතාගෙන්ද හෝකන්දර පිහිටි නිවසේදී ප්රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසයි.
රජය වෙනුවෙන් අභියාචනාධිකරණයේදී කරුණු දැක්වූ රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පවසා ඇත්තේ මාතර මහේස්ත්රාත් අධිකරණය දුන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව ගත්ත එකක් බවයි.
SK
Post a Comment